Treatement

අක්මාව රැකගැනීම පිළිබඳව අපගේ අවධානය මේ වකවානුව තුළ යොමු කිරීම ඉතාම වැදගත් වන්නේ වර්තමානයේ අක්මා රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරුන් වෙත පැමිණෙන රෝගීන්, සංඛ්‍යාත්මකව වර්ධනය වී ඇති බැවිනි. සිරෝසිස්, ෆැටි ලිවර්, (Cirrhosis, Fatty liver), හෙපටයිටිස් ABCDE ආදී රෝගවලින් ඍජු ලෙස රෝගී වන්නේ අක්මාවයි. අක්මාව රෝගී වී ඇති බව පැවසෙන රෝග ලක්ෂණ පහළ වනවිට ඔබේ අක්මාව පවතින්නේ අසාධ්‍ය තත්ත්වයේ වීම ඔබේ ජීවිතයට රතු එළිය හඟවන දරුණුම සංඥාවක් විය හැකියි. බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වුව ද පුද්ගලයකුගේ අක්මාව රෝගී වූවිට රෝගියාට දැනෙන රෝග ලක්ෂණ කිහිපයක් ඇත. බොහෝ රෝගවල පොදු රෝග ලක්ෂණයක් ලෙස මතු වන උණ, අක්මා රෝගවලද පෙර නිමිති පෙන්නුම් කරන රෝග ලක්ෂණයකි. නමුත් අක්මාවේ රෝගවලටම විශේෂ වූ රෝග ලක්ෂණ කිහිපයක් ඇත. ඇස් කහ පැහැ ගැන්වීම, කෑම අරුචිය, වමනය මේවා අතර ප්‍රධානය. අක්මාව පිහිටා ඇත්තේ උදරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ නිසා මෙම ස්ථානයේ වේදනාවක් ඇති බව රෝගියා පවසන්නේ නම් බොහෝවිට එයද අක්මා රෝග ලක්ෂණයකි.